මින් වසර 159කට විතර ඉස්සර යටත් විජිත යුගයේ දී ආරම්භ කළ පොලිසිය මෙරට ඇති ඉපැරණිම ආයතනයකි. මුලින් ම මෙය ආරම්භ වූයේ කොළඹ නගරය ආරක්ෂා කිරීමේ පියවරක් හැටියටයි. ඒ කාලයේ දී මෙරට පාලනය කළ ඉංග්‍රීසින් පොලිසිය යෙදෙව්වේ ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට මිස පොදු ජනතාවගේ ආරක්ෂාවට හා සාමය සහතික කිරීමට නොවේ. ඒ නිසා වැඩිපුරම සේවයට යොදවා ගත්තේ සිංහල හරි හැටි කතා කිරීමට බැරි සුළු ජාතීන් අතරින් පිරිස්ය. මේ නිසා ඔවුන් බොහෝ විට මහජනයාගේ සමච්චලයට ලක් විය. එකල පාලක පන්තියට හෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ට කත් අදින අයගේ චරිත උපහාසයට ලක් කළ නාට්‍ය සම්ප්‍රදායක් ‘කෝළම්’ නමින් පහතරට ප්‍රදේශවලින් බිහි විය. එයින් වඩාත් ජනප්‍රිය වුයේ ‘පොලිස් කෝළම’යි. මේ පොලිස් කෝළම සිහිගන්වන ආකාරයේ සිදුවීම් මාලාවක් පසුගිය කාලයේ සිදු විය. ඒවා ඇසුරෙන් ‘පොලිස්පති කෝලම’ කියා චිත්‍රපටයක් තනන්න කෙනෙකුට සිතුණොත් ඒ සඳහා ප්‍රයෝජන ගන්නට පසුගිය දා කරළියට ආ පොලිස්පති කෝළමේ ජවනිකා කීපයක් මෙසේ පෙළ ගස්වන්නට අදහස් කෙළෙමු. ඒ වාගේ ම අපේ පොලිසියේ වර්තමානයේ පවතින තත්වය තේරුම් ගැනීමටත්, ඒවා වෙනස් කර යහ අතට හරවා ගන්නට යමකුට ඕනෑකමක් ඇත්නම් ඒ සඳහා උපකාර කර ගන්නත් මේ ජවනිකා ටික ප්‍රයෝජනවත් වේවි.
පොලිස්පති කෝලම ජවනිකා අංක 01
2025 මාර්තු 02 වැනිදා මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එවක කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ (සීසීඩී) ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා සහ සීසීඩියේම හිටපු නිලධාරීන් 06 දෙනෙකු ඇතුළු 8 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාවරයා නියෝග කර තිබේ.
ඒ, 2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළවය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් 6314/23 නඩු අංකය යටතේ සිදුකෙරෙන නීතිමය කටයුත්තට එනම් එහිදී මිය ගිය සීසීඩියේ සැරයන් වරයෙකු ලෙස සේවය කළ උපුල් කුමාර නම් නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් කළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේ එය මනුෂ්‍ය ඝාතනයක් බවත් ඒ අනුව දේශබන්දු ඇතුළු පිරිස ඒ සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියාටත් (පීඑස්ඕ) නොකියා අතුරුදහන්ව මේ වන විට දින 13කි.
පොලිස් කෝලම අංක 02
වෙඩි තැබීමට ලක් වූ වැලිගම නව ගාලු පාරේ පැලෑන වටරවුම අසල පිහිටි W15 නම් ප්‍රකට සංචාරක හෝටලය හිටපු ආණ්ඩුකාරවරයකු වූ ඒ,ජේ,එම්. මුසාමිල් ගේ පුත්‍රයාට අයත් එකකි. ඒ හෝටලයට වෙඩි තබා පලායෑමට තැත් කිරීමේදී ඒ කේ.ඩී.එච් වෑන් රථයට වැලිගම පොලිස් නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වීමට සිදු විය. ඒ වෑන් රිය තුළ වෙස්වලාගෙන සිටි කොළඹ අපරාධ කොට්ඨාසයට CCD අන්යුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරියෙක් තුවාල ලැබුවේය.
පොලිස් කෝලම අංක 03
වැලිගම W15 හෝටලය තුළට යාමට ගොස් එය වැළකීයාමෙන් පසු පිරිස හෝටලය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණා.
එම අවස්ථාවේදී ඊට නුදුරින් ක්‍රියාත්මක වූ ඒ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල යෙදෙමින් සිටි වැලිගම පොලිසියේ ජංගම පොලිස් සංචාරක රථයක් අසල ස්ථානගත කර තිබී ඇත. එම ඒකාබද්ධ මෙහෙයුම සඳහා යෙදූ හමුදාවේ පිරිසක්ද එම රථයේ සිට ඇත.
වෙඩි ප්‍රහාර එල්ල කළ කේ.ඩී.එච් රථය හඹා ගිය පොලිස් ජංගම රථය මාර්ගය හරස්කර පලායන වෑන් රිය නවත්වා ගන්නට උත්සාහ කර ඇත. එහෙත් පොලිස් ජංගම රථයට වෙට්ටුවක් දමා ඒ වෑන් රථය පලා ගොස් තිබුණි. ජංගම පොලිස් රථය වෑන් රිය හඹා ගොස් වෙඩි තබා ඇත්තේ අනතුරුවය.
මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ වැලිගම HQI විසින් මෙම පලායන රථය සම්බන්ධව සියලුම තොරතුරු පොලිස් ස්ථාන ඇතුළු ආරක්ෂක අංශය වෙත දැනුම් දීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව පලා ගිය රථය ඉමදුව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී අධිවේගී මාර්ග ආරක්ෂක අංශ පොලිසිය විසින් නවතා පරීක්ෂා කිරීමට යෙදුණි.
කේ.ඩී.එච්. රථයේ සිටි පිරිස තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ බව දන්වා හැඳුනුම්පත් ඉදිරිපත් කළත් එතැනින් ප්‍රවේශ වීමට ඉඩ දී තිබුණේ නැහැ. පසුව ටික වේලාවක් ගිය පසු උසස් පොලිස් නිලධාරියෙකුගෙන් ආ නියෝගයක් පරිදි මෙම පිරිස මුදාහැරීමට අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරීන්ට සිදුවුනත්, එහි වෙඩි වැදුණු පුද්ගලයකු අධික රුධිර වාහනය නිසා මියගොස් තිබීමත්, තවත් පුද්ගලයකුත් තුවාල ලබා සිටීමත් නිසා වහා ක්‍රියා කළ එහි සිටි පොලිස් නිලධාරින් 1990 ගිලන් රථයක් ගෙන්වා කරාපිටිය ශික්ෂණ රෝහලට වෙත යැවීමට කටයුතු කර තිබුණි. පසුව කළ විමසීමේදී මෙම කේ,ඩී,එච් වෑන් රථයේ පැමිණ W15 හෝටලයට වෙඩි තබා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් බව හෙළිවී තිබුණි.
පොලිස් කෝලම අංක 04
මේ අනපේක්ෂිත සිදු වීම දේශබන්දු-ටිරාන් මත්කුඩු නාටකයේ උච්චතම අවස්ථාව සැමරීමේ අපේක්ෂාවෙන් කාටවත් නොදන්වා කළ රහස් මෙහෙයුමක් නිසාය. ඔවුන්ගේ අවශ්‍යතාව වී තිබුණේ පසුදාට, එනම් එළඹෙන ජනවාරි පළවෙනිදාට, මත්කුඩු මෙහෙයුමේ මාධ්‍ය සංදර්ශනයක් පැවැත් වීමටයි. ඒ සඳහා යොදාගෙන තිබුනේ මත්කුඩු වලට නමගිය ප්‍රදේශයක් වන දකුණු පළාතයි. ඒ සඳහා සුදුසු ස්ථානයක් ලෙස අවස්ථා කිහිපයකදී කප්පම් ඉල්ලා නොදී සිටි මුසාමිල්ගේ පුත්‍රයාට අයත් W15 හෝටලය තෝරාගෙන තිබුණි. මේ සඳහා යොදා ගෙන තිබුණේ එක ගලෙන් කුරුල්ලෝ කීපදෙනෙක් මැරීමේ න්‍යායයි.
මාධ්‍යවලින් හෙළිවුණු අභ්‍යන්තර තොරතුරුවලට අනුව මෙම කේ,ඩී,එච් වෑන් රථය (කොළඹ අපරාධ කොට්ඨාශයට අයත්) එදා රාත්‍රි කාලයේ කොළඹින් පිටත්ව ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය කිලෝ 15 කුත් සමඟයි. මේ ගමන සම්බන්ධයෙන් දකුණු පළාත් භාර කිසිදු උසස් නිලධාරියෙකුට දැනුම් දී තිබුණේ නැත. සාමාන්‍ය ක්‍රමවේදය නම් පොලිස්පතිවරයාගේ නියමයෙන් එවැනි කණ්ඩායමක් පිටත් කිරීමේ හැකියාව පැවතියත් වැටලීමක් සිදුකරන ස්ථානයට ගිය පසු එම ස්ථානයේ දැන් වැටලීමක් සිදු කරන බව ප්‍රදේශය බාර උසස් නිලධාරීන්ට දැන්වීම සාමාන්‍ය ක්‍රමවේදයයි.
පොලිස් කෝලම අංක 05
කොළඹින් පිටත්ව ගිය මෙම කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වී තිබුණේ W15 හෝටල් පරිශ්‍රයට මෙම කුඩු ටික රැගෙන ගොස් එහි තිබූ මත්ද්‍රව්‍ය බව හුවා දක්වමින් මත්ද්‍රව්‍ය මෙහෙයුමේ මාධ්‍ය සංදර්ශනයට අවශ්‍ය තොරතුරු සූදානම් කර ගැනීමටයි. එය ලත්තැනම ලොප් වුනේ හෝටල් සේවකයින් හෝටල් පරිශ්‍රයට පැමිණි මේ පිරිස පිළිබඳව සැක සිතූ නිසා ඔවුන් ඒ තුළට වැද්ද නොගැනීමයි. ඉන් කෝපයට පත් පිරිස, ඔවුන්ගේ සැලසුම වෙනස් කරමින් කඩිමුඩියේ කළේ හෝටල් පරිශ්‍රය දෙසට වෙඩි තබා පලායාමයි. මෙය පාතාල වැඩක් බව හුවා දක්වමින් පලායෑමට තැත් කළත් පොලිස් නිලධාරීන්ගේ ලුහුබැඳීම නිසා එය ව්‍යර්ථ විය.
ඔවුන් පැමිණියේ මෙවැනි අනීතික වැඩකට නෙමෙයි නම් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් විසින් නතර කරන ලෙස දන්වා සිටියදීත් අණ නොතකා ධාවනය කෙළේ ඇයි...? පොලිස් නිලධාරින් ලුහුබැඳ ගොස් වෙඩි තබන අවස්ථාවේදීත් වෙඩි කාගෙන පලා යෑමට උත්සාහ කළේ ඇයි..? සිද්ධිය සිදුවූ ස්ථානයේ සිට ඉමදූව අධිවේගී මාර්ගය පිවිසුම දක්වා පැමිණවීමට විනාඩි හතළිහක පමණ කාලයක් ගත වී ඇත. එතෙක් තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් ගත කිරීමටවත් උත්සාහ නොකළේ ඇයි...? රෝහල් ගත කළා නම් එයින් මියගිය පොලිස් නිලධාරියා බේරා ගැනීමට ඉඩ තිබුණි.
එහි දී හෙළිවුණු තොරතුරු අනුව එම නිලධාරීන්ට ඒ වන විටත් කොළඹින් ලබා දී තිබූ නියෝගය වූයේ හැකි ඉක්මනින් කොළඹට පැමිණෙන ලෙසයි. එහෙත් ඉමදූව අධිවේගේ පිවිසුමේදී එයද ව්‍යර්ථ විය. මේ වන විට එම රථයේ තිබූ කුඩු ටික පවා අස්ථානගත කර පාතාල ගැටුමක් අතරතුරදී සිදුවූ වෙඩිතැබීමකින් නිලධාරියෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මගින් තවත් මාධ්‍ය සංදර්ශනයක් පසුවදා පැවැත්වු අතර එය පොලිසියට විශාල අපකීර්තියක් ඇති කළේය.
පොලිස් කෝලම අංක 06
ඉහත සිද්ධි දාමය සිදු වන විට දේශබන්ධු සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වශයෙනි. ඒ වන විට ඔහුට එරෙහිව අනීතික අත්අඩංගුවට ගැනීම්, අනවසරයේ පොලිස් බාරයේ තබා ගැනීම්, අමානුෂික ලෙස වදහිංසා පැමිණවීම් හා පහරදීම්, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ආදිය සඳහා නඩු 40ක් අධිකරණවල විමර්ශණය කරමින් තිබුණි. ඒ නිසා ඔහුව ජනතා ඡන්දෙන් එනම් ජනාධිපතිවරණයකින් තොරව පත් වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වූ විසින් දේශබන්ධු තෙන්නකෝන් 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබීම මතභේදයක් නිර්මාණය කළේය. ව්‍යවස්ථානුකූලව ඔහුගේ නම අනුමැතිය සඳහා ව්‍යවස්ථා සභාවට යැවූ විට ඊට අනුමැතිය පළ කළේ ඒ කොමිටියේ සාමාජිකයන් සිවු දෙදෙනකු පමණය. දෙදෙනකු විරුද්ධ විය. තවත් දෙදෙනකු ඒ රැස්වීමට පැමිණ සිටියේ නැත. ඒ නොපැමිණි දෙදෙනාගෙන් ඒ පිළිබඳව නොවිමසා ඒ දෙදෙනා විරුද්ධ යැයි සලකා කතානායක සිය තීරක ඡන්දය ලබා දී රනිල්ගේ අවශ්‍යතාවට අනුමැතිය ලබා දුන් අතර රනිල් වික්‍රමසිංහ බොහෝ විරෝධතා මැද්දේ දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පත්වරයා ලෙස පත් කළේය.
එය අනීතික යැයි කියා කාදිනල් තුමන් ඇතුළු පෙත්සම් කරුවන් 9 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ. විත්තිකරුවන් වූයේ ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා, කතානායකවරයා හා දේශබන්ධු තෙන්නකෝන් නම් කරනු ලැබීය. ඒ නඩුව විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්ධුට එම ධූරයේ රාජකාරි කිරීම අත් හිටුවා නඩු විභාගය අවසන් වන තෙක් පොලිස්පති ධුරයේ වැඩ බැලීමට වැඩබලන පොලිස්පති වරයකු පත් කරන ලෙස නියෝග කළේය.
ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ඓතිහාසික තීන්දුවක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබීය. එනම් වහාම පොලිස්පතිවරයා සිය ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමයි. එසේම එම නියෝගයට අමතරව නඩු විභාගය අවසන් වන තෙක් පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා වෙනත් වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ද නියෝගයේ සඳහන් විය.
ඒත් උද්ධච්ච රනිල් උසාවි නියෝගය තුට්ටුවකටත් මායිම් කළේ නැත. ඔහු වැඩබලන පොලිස්පති වරයෙක් පත් කළේ නැත. ඔහුට මුක්තිය ඇති නිසා උසාවියට අපහාස කළා කියා දඬුවමක් නැති බව දන්නා නිසාය. ‘බයවෙන්න එපා! අපරාධකාරයෙක් මැරුවත් මං ඉන්නකං. මං බේරා ගන්නවා‘ කී ටිරාන් ආවේත් නැත. ඒත් උසාවි තීන්දුව ගණන් නොගෙන දේශබන්දු පොලිස්පති පුටුවට ගියේ නැත. ඒ උසාවියට අපහාස කළා යැයි සිරදඬුවම් විඳින්නට වන නිසාය.
නීතියට ගරු නොකරන මේ ‘ඔළුවක්‘ නැති අපතයන්ගේ ක්‍රියාකලාපය නිසා එතැන් සිට රට ගෙන යන්නට වූයේ ‘ඔළුවක්‘ නැති පොලිසියක් සමගය. පොලිස් පතිවරයකු නැතිව ජනාධිපතිවරණය තැබිය නොහැකි යැයි තර්ක කළ අයත් සිටියහ. එහෙත් ස්වාධීන මැතිවරණ කොමිසම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග එක්ව පොලිස්පති කලින් දුන් චක්‍රලේඛ අනුව ජනාධිපතිවරණයක් පැවැත් වීය. ඡන්ද පොළට ගිය ජනතාව එක කතිරයකින් රනිල්ගේ මුක්තිය අහෝසි කළහ. අංක එකට සිටි ජනාධිපති බිංදුවට බස්සා ගෙදර ඇරියේය. අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා දිවුරුම් දී මුලින් කළේ උසාවි නියෝගයට අනුව වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමය. වැඩ තහනම් කර සිටියත් දේශබන්දු තෙන්නකෝන් තවමත් පොලිස්පති නිසා ඔහු ඉවත් කරනතුරු ප්‍රියන්ත වීරසූරියට පොලිස්පති ලෙස වැඩ බලන්නට සිදු විය.
ඉන්පසුව දේශබන්දු පාර්ලිමේන්තුව මගින් ධූරයෙන් නෙරපා හැරීමට ජනාධිපති අනුර ගේ ජනතාවාදී ආණ්ඩුව ක්‍රියා කෙළේ ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව මගින් පොලිස්පතිවරයෙකු ධූරයෙන් නෙරපා හරිනු ලැබුවේ දේශබන්දු තෙන්නකෝන් ය.
පොලිස් කෝලම අංක 07
2023 මාර්තු 09 වැනිදා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් සැඟවී සිටිමින්, සිය නීතිඥයන් මගින්, අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේ, මාතර මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය අනුව තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි. එතෙක් අතුරු තහනමක් ඉල්ලා සිටියද මහාධිකරණය කියා සිටියේ, කරුණුු සලකා නොබලා එවැනි නියෝගයක් නිකුත් කළ නො හැකි බවත් 12 වැනිදා ඔහුගේ ඉල්ලීම විභාගයට ගන්නා බවත්ය. ඒ නිසා එතෙක් ආරක්ෂා වූ ආකාරයට ම ඔහුට සැඟවී සිටිමට ඔහුට සිදු විය. සිටින ලෙසත් ය. ඉන්පසු මාර්තු 12 වැනිදා දේශබන්දුගේ අභියාචන ඉල්ලීම විභාගයට ගෙන දීර්ඝ ලෙස කරුණු සලකා බැලු ද්විපුද්ගල විනිසුරු මඬුල්ල ඒ පිළිබඳ තීන්දුව ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කළේය.
දේශබන්දුගේ පෙත්සම විනිශ්චයට ගනු ලැබුවේ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා මේ අවස්ථාව වන විටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයදී ඇති නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙන්නා දුන්නේය.
“අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) ආ වගන්තිය ප්‍රකාරව වැලිගම පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙනයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම වගන්තිය යටතේ පොලිසිය විසින් ඉදිරිපත් කරන කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් නිකුත් කරන්න බැහැ. ඒ වගේම මෙම නියෝගය නිකුත් කිරීමට පෙර පෙත්සම්කරුගෙන් කිසිදු ආකාරයක ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට පෙත්සම්කරු වෙත සිතාසි නිකුත් කිරීමක් සිදුකළ යුතුයි. අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසියක් නිකුත් නොකොට සෘජුවම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීම වැරදියි.” යනුවෙන් ද සඳහන් කළේය.
මෙහිදී අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්,
“පෙත්සම්කරුට කෙලින්ම අධිකරණයට ගිහින් පෙනී සිට ප්‍රකාශයක් දෙන්න බැරිද?” යනුවෙන් විමසීය.
ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා,
“ස්වාමීනී… මගේ සේවාදායකයා ඉදිරිපත් වෙන්න කැමතියි. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම රිමාන්ඩ් භාරයට පත්වීමේ අවදානමකුත් තිබෙනවා. මාගේ සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඔහු විමර්ශනවලට සහාය වෙන්න කැමතියි.” යනුවෙන් සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේදී යළි ප්‍රශ්නයක් මතු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා,
“පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් වුණොත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරාවි. ඉතින් ඔහුට අධිකරණයට ඉදිරිපත් වෙන්න හැකියාවක් තිබෙනවා නේද?” යනුවෙන් විමසුවා.
ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥවරයා,
“ස්වාමීනී… අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඔහු ඉදිරිපත් වෙන්න සූදානම්.” යනුවෙන් යළි සඳහන් කර සිටියා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ එවැනි ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, “මාගේ සේවාදායකයා මේ අවස්ථාවේදීත් පොලිස්පති ධුරයේ කටයුතු කරනවා. ඔහුගේ ලිපිනය සහ දුරකථන අංක කවුරුත් දන්නවා. එසේ තිබියදී ඔහුව අධිකරණයට කැඳවීම සඳහා සිතාසියක් නිකුත් කළ යුතුව තිබුණා. ඒක තමයි නීතිමය තත්ත්වය. එසේ නොකොට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට අනුකූල නැහැ. ඒ වගේම පොලිසිය ඉදිරිපත් කර තිබෙන කරුණු වාර්තාවක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් මහේස්ත්‍රාත්වරයාට කොහෙත්ම නිකුත් කරන්න බෑ. මෙම නියෝගය නිකුත් කිරීමේදී මහේස්ත්‍රාත්වරයා නීතිමය වශයෙන් පක්ෂග්‍රාහී භාවයකින් කටයුතු කර තිබෙනවා. එසේම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බව ඊයේ මාධ්‍යවලින් දැනගන්නට ලැබුණා. මෙවැනි නියෝගයක් නිකුත් කරන්නේ කොහොමද? මේක අධිකරණ බලය අවභාවිතාවට ලක් කිරීමක්. මෙවැනි ක්‍රියා නැවැත්විය යුතුයි.”
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති අතුරු නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.
ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
“පෙත්සම්කරු තවමත් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළා. කියන්න ලැජ්ජයි ස්වාමීනී.. මේ පුද්ගලයා පසුගිය 27 සිට මේ දක්වා අධිකරණය මග හැර සැඟවිලා සිටිනවා. ඔහු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහයත් ඉල්ලා තිබෙනවා. ඔහු මේ වනවිට අධිකරණය මගහැර සැඟවී සිටින පුද්ගලයෙක්. පොලිස්පති ධුරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමටවත් ඔහු සුදුසු නෑ. පෙත්සම්කරු විසින් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ ඔහුගේ නම දේශබන්දු තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. නමුත් ඔහු විසින් ඉදිරිපත් කළ නඩු ගොනුවේ තවත් ලේඛනයක ඔහුගේ නම පී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. ඇත්තටම මේක කරුණු වසන් කිරීමක්. ඔහු පදිංචිව සිටින හෝකන්දර, ගංගානි මාවතේ පිහිටි නිවස පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් 27වනදා එම ස්ථානයට ගියා. එම නිවසේ ඔහු සහ පවුලේ සාමාජිකයින් නොමැති බව අනාවරණය වුණා. එහෙත් නිවසට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ස්වාමීනී…. මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගන්න සූදානම් වන්නේ උසාවි නියෝගයක් අනුවයි. මේක පොලිසිය ගත්තු තීරණයක් නෙවෙයි.” යනුවෙන් සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා,
“2023 දෙසැම්බර් මස 31 වනදා රාත්‍රි 8.30ට පමණ මෙම නඩුවේ පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයක් මත කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් KDH වෑන් රථයකින් මාතර බලා ගමන් ආරම්භ කරනවා. මෙම කණ්ඩායමට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරු තුන් දෙනකු ඇතුළත් වුණා. මත්ද්‍රව්‍ය සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැටලීමක් සිදු කිරීමට ගිය බව තමයි මොවුන් සඳහන් කර තිබුණේ. මෙසේ ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිස මාතර වැලිගම පැළෑනේ පිහිටි w15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව සාක්ෂිවලින් අනාවරණය වී තිබෙනවා. එම අවස්ථාවේදී “යුක්තිය” මෙහෙයුමේ නිරත යුද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම වෑන් රථය හඹාගෙන ගොස් වෙඩි තැබීම් සිදුකරනවා. ඉන් එම රථය තුළ සිටි අපරාධ කොට්ඨාසය නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබනවා. පසුව වාහනය තුළ සිටි පොලිස් සැරයන්වරයෙකු මරණයට පත් වුණා. වාහනය තුළ තුවාලකරුවන් දෙදෙනෙකු සිටියා. මෙසේ පලා ගිය වාහනය ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිසිය විසින් නතර කරනවා. ඒ අවස්ථාවේදී වාහනය තුළ තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිටින බව නිරීක්ෂණය වුණා. අදාළ වෑන් රථයේ මැද ආසනය ගලවා තිබූ අතර තුවාලකරුවන් බිම තමයි දමා තිබුණේ. වෑන් රථය තුළ සිටි සියලුදෙනාගේ රාජකාරී ජංගම දුරකථන වසා දමා තිබුණා. පසුව පොලිස් නිලධාරින් මැදිහත් වී තුවාලකරුවන් රෝහලට රැගෙන යනවා. මේක ඉතාම සැක කටයුතු තත්ත්වයක්. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට ඉමදූව අධිවේගී මාර්ග පිවිසුම දක්වා ඔවුන් කිලෝමීටර් දහතුනක් ගමන් කර තිබෙනවා. එසේ පැමිණෙන විට ඔවුන් පොලිස් ස්ථාන තුනක් හා රෝහල් තුනක් පසු කරනු ලැබුවා. තුවාලකරුවන් එම රෝහල්වලට ඇතුළත් නොකළේ ඇයි දැයි සැකයක් මතුවෙනවා. මෙය නීත්‍යානකූල වැටලීමක් නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරන්න තිබුණා. එහෙත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ නිසයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුණේ.”
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,
“ස්වාමීනී.. මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායම ගිය බව ඔවුන් විසින් ප්‍රකාශ කළත් එය පිළිගන්න බෑ. වෙඩි තැබීමට ලක් වූ w 15 හෝටලයේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩින් සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබෙන බව පෙනී ගොස් තිබෙනවා. ඉඩමක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දේශබන්දු තෙන්නකෝන්ට මාසයකට රුපියල් ලක්ෂ එකහමාරක් මුදලක් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීම යටතේ සිදුවී ඇති බව සාක්ෂිවලින් පෙනීගොස් තිබෙනවා. ඒ සඳහා ඔහු තමන් යටතේ සේවය කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යොදවා ගෙන තිබෙන බවත් පැහැදිලි වී තිබෙනවා. පෙත්සම්කරු මේ රටේ පොලිස්පති නම් ඔහු යටතේ මෙවැනි “පැරා මිලිටරි” කණ්ඩායමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? දේශබන්දු තෙන්නකෝන් මෙම සිද්ධියේ ප්‍රධාන කුමන්ත්‍රණකරු. අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මෙහිදී ක්‍රියාකර තිබෙන්නේ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ආකාරයටයි. මෙම සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන් උපුල් කුමාරගේ පවුලේ අයට පොලිස්පතිවරයාගේ මැදිහත් වීමෙන් පොලිස් අරමුදලින් රුපියල් ලක්ෂ 15ක් ලබාදී තිබුණා. පසුව එවක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා දැනුවත් කර තවත් ලක්ෂ 25ක මුදලක් ලබාදී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා. මෙහිදී එවක මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා පෙන්වාදී තිබෙනවා” යනුවෙන් ද සඳහන් කර සිටියේය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම පෙත්සම සත්‍ය කරුණු වසන් කරමින් අභියාචනාධිකරණ රීතීන්ට අනුකූල නොවන ආකාරයට ඉදිරිපත් කර ඇති නිසා එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම පිළිබඳ සිය තීරණය මාර්තු මස 17 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.
ඒ අනුව මාර්තු 17 වැනිදා තීන්දුව දෙමින් අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ එය ගාස්තුවටත් යටත් කොට නිෂ්ප්‍රභ කරන බවයි. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල පොලිස්පතිවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියම කර සිටියේ ය. එමෙන්ම පෙත්සම්කරුට අධිකරණය මගහැර සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශන කර නීතිමය පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.
මෙරට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලිසිය විසින් ඉකුත් දෙසැම්බර් 17 වැනිදා සිට ආරම්භ කළ යුක්තියේ මෙහෙයුම අද (ජනවාරි 31 වැනිදා) වන විට දින 46ක් පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.
අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමේදී දෛනිකව අවම වශයෙන් සැකකරුවන් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කරන නිවේදන මගින් පෙනී යයි.
'දේශබන්ධු' යන නාමය ශ්‍රී ලංකාවේ දිගු කාලයක් සිට පවතින නම්බුනාමයක් වූයේ නමුත් දේශබන්දුට ඒ නම දුන්නේ ඔහුගේ දෙමාපියන් ඔහු උපන් විට උප්පැන්න සහතිකයේ නම ලෙස ය. නමුත් වැඩිවියට පත් වූ කළ තම පුතාගේ ක්‍රියාකලාපය සහමුලින්ම දේශද්‍රෝහියෙකුගේ තත්ත්වයට වැටී රටේ රාජ්‍යය විසින්ම ඉතාමත්ම අපකීර්තියට පත් කර ප්‍රථමයෙන්ම නෙරපා හරින ලද පුද්ගලයා තම පුතා වනු ඇතැයි 'දේශබන්දු' නම තැබූ ඒ තෙන්නකෝන් දෙමාපියන් නොසිතන්නට ඇත.
අද නීතිය ඉදිරියේ අභියෝගයට ලක් වී සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
0 Comments